[මෙය “Sri Lankan President pledges separate courts for Buddhist monks, placing them above the normal law” මැයෙන්, 2026 ජූනි 11 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය අතරතුර ප්‍රකාශ කලේ, අභ්‍යන්තර සංඝාධිකරන මගින් සිවුරු හැර යාමට නියෝග කිරීමට පෙර, රටේ නීති යටතේ බෞද්ධ භික්ෂූන් අත්අඩංගුවට ගැනීම හෝ අපරාධ චෝදනා එල්ල කිරීම වැලැක්වීම සඳහා තම ආන්ඩුව නීති සංශෝධන හඳුන්වා දෙන බවයි.
ඔහු පැහැදිලි කල පරිදි, නව නීති අනුව, භික්ෂූන්ට එරෙහි චෝදනා බෞද්ධ විනය යටතේ විමර්ශනය කිරීමට සංඝාධිකරන පිහිටුවා ගැනීමට ඉඩ සැලසෙන අතර, එමගින් ඔවුන් වරදකරුවන් වී සිවුරු හැර යාමට නියෝග ලදහොත් පමනක්, රටේ සාමාන්‍ය නීති යටතේ ඔවුනට එරෙහි ව නඩු පැවරිය හැක.
වාර්ෂික රාජ්‍ය වෙසක් උත්සවය දකුනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් වන මාතර දී පැවැත්විනි. දිසානායක උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා විය. ශ්‍රී ලංකාවේ වාර්ගික ආන්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව, සිංහල රාජ්‍ය භාෂාව වේ. ව්‍යවස්ථාවෙන්, බුද්ධාගමට “ප්‍රමුඛතම ස්ථානය” ලබා දී ඇති අතර එය “ආරක්ෂා කිරීම සහ පෝෂනය කිරීම” රාජ්‍යයේ වගකීම බවට පත් කර ඇත. එය රටේ සුලුතර දෙමල සහ මුස්ලිම් ජනගහනයට වෙනස් ලෙස සැලකීමකි.
භක්තිමත් බෞද්ධයෙකු යැයි කියා ගන්නා දිසානායක, “ආධ්‍යාත්මික හා ආර්ථික විමුක්තිය” සඳහා බෞද්ධ ඉගැන්වීම් ගැන කතා කලේ ය.
මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන බෞද්ධ නිකායන්හි ප්‍රධාන නාහිමිවරුන් “[නව නීති සඳහා] මෙම ඉල්ලීම විධිමත් ලෙස ඉදිරිපත් කර ඇති” බව ජනාධිපතිවරයා හෙලි කලේ ය.
සංශෝධන දැනටමත් කෙටුම්පත් කර ඇති බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ නීතිපති, ප්‍රධාන නාහිමිවරුන් සහ බෞද්ධ නිකායන්හි ලේකම්වරුන් සහ රාජ්‍ය බලධාරීන් අතර සාකච්ඡා සඳහා ආන්ඩුව පහසුකම් සපයා ඇති බවත් ඔහු හෙලි කලේ ය. සියල්ලන් ම එකඟ වූ අතර, ආන්ඩුව ඉතා ඉක්මනින් අවශ්‍ය නීති සම්පාදනය කරනු ඇත.
නිශ්චිත නීතිමය වෙනස්කම් අතරට බෞද්ධ කටයුතු අමාත්‍යාංශය යටතේ බෞද්ධ භික්ෂූන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් 1931 විහාරගම් සහ දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම ඇතුලත් වේ. පවතින නීතිය යටතේ, භික්ෂුවක් අත්අඩංගුවට ගෙන වෙනත් ඕනෑ ම පුරවැසියෙකුට මෙන් චෝදනා ගොනුකල හැකි ය.
නව නීති පැනවීමෙන් පසු, චීවරධාරියෙකුට එරෙහි චෝදනා පලමුව අභ්‍යන්තර සංඝාධිකරනයක් විසින් විමර්ශනය කල යුතු අතර, එහි දී වරදකරු බව ඔප්පු වුව හොත්, පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට හෝ අධිකරනය විසින් චෝදනා විභාග කිරීමට පෙර, ඔහු භික්ෂු ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය.
දිසානායක පැවසුවේ තම ආන්ඩුව “විනය උල්ලංඝනය කරන භික්ෂූන්ට එරෙහි ව සංඝාධිකරන හරහා විනය පියවර ගැනීමේ බලය නැවත ලබා දෙන” බවයි.
ප්රමුඛ තනතුරු දරන සමහරු ඇතුලු ව බෞද්ධ භික්ෂූන් ගනනාවක් මෑතක දී අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු ව මෙම නිවේදනය නිකුත් විය. එක් සිදුවීමක දී, අප්‍රේල් 22 වන දින තායිලන්තයේ සිට ආපසු පැමිනි භික්ෂූන් 22 දෙනෙකු තම ගමන් මලුවල පතුල්වල සඟවා ගංජා තොගයක් ගෙන ආ බවට චෝදනා එල්ල විය. “මහා මොලකරු” යැයි කියනු ලබන භික්ෂුවක් පසු ව අත්අඩංගුවට ගන්නා ලදී. මීගමුව මහේස්ත්‍රාත්වරයා ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කල අතර, නඩු විභාගය තවමත් විභාග වෙමින් පවතී.
ඉහල පෙලේ නඩුවක දී, අනුරාධපුරයේ අටමස්ථානාධිපති වන පල්ලේගම හේමරතන, වයස අවුරුදු 15 ක ගැහැනු ලමයෙකුට ලිංගික අතවර කල බවට චෝදනා එල්ල වීමෙන් පසු මැයි 8 වන දින පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ලමා ආරක්ෂක කාර්යාංශයේ සැලකිය යුතු පීඩනයකින් පසු ව පමනක් පොලිසිය බලවත් භික්ෂුවට එරෙහි ව පියවර ගත්තේ ය. මහේස්ත්‍රාත්වරයා මුලින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කල ද, පසු ව ඔහු නිදහස් කරන ලදී. තමා අත්අඩංගුවට ගැනීමට ආසන්න බව දැන, භික්ෂුව රිමාන්ඩ් බන්ධනාගාරය මග හරිමින් රෝහල් ගත විය. ඔහු අයත් වූ මල්වතු පාර්ශවය, මැයි 20 වන දින, අධිකරන කටයුතු අවසන් වන තෙක් නායකත්ව තනතුර අත්හිටුවීමට තීරනය කලේ ය.
මෙම නඩු, එවන් අපරාධ අතරින් දෙකක් සම්බන්ධයෙන් පමනි. පසුගිය තෙ වසර තුල භික්ෂූන් වහන්සේලා 300කට ආසන්න සංඛ්‍යාවක් ලමා අපයෝජන චෝදනා ලැබ සිටින බව රාජ්‍ය ලමා ආරක්ෂක කාර්යාංශය මාධ්‍යයට පවසා තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී සිටින භික්ෂූන් වහන්සේලා 22 දෙනා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් තමාට පැවසූ දේ දිසානායක සඳහන් කලේ ය: “අධිකරනයට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් සිවුරුහල යුතුයි.” ඔවුන් ඇසුවේ: “අපි භික්ෂූන් වහන්සේලා මාංචු දමා අධිකරනයට ගෙන යන්නේ කෙසේ ද?” යනුවෙනි.
දිසානායක, ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සහ රටේ පාලක ප්රභූව, මෙම අපරාධයන්, බෞද්ධ සංස්ථාපිතයට සාමාන්‍ය ජනතාව අතර පවත්නා අධිකාරිත්වයට දැඩි ලෙස හානි කරනු ඇතැයි බියපත් ව සිටිති. ඔවුනට එරෙහි මෑත කාලීන චෝදනා ශ්‍රී ලංකාව පුරා කෝපයට හේතු වී තිබේ.
ශ්‍රී ලංකා පාලක පන්තිය ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පවුරක් ලෙස බෞද්ධ සංස්ථාපිතය මත දිගු කලක් විශ්වාසය තබා ඇත. 1948 දී බ්‍රිතාන්‍යයන් යටත් විජිත පාලනය අත්හැරීමෙන් පසු, අනුප්‍රාප්තික ආන්ඩු සුලු ජාතීන්ට, ප්‍රධාන වශයෙන් දෙමල ජනතාවට ක්රමානුකූල ව වෙනස්කම් කිරීමට රාජ්‍යය භාවිතා කර ඇත. පලමු නිදහස් ආන්ඩුව, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ අරමුනින් ඉන්දියානු සම්භවයක් ඇති දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කලේ ය.
වැඩෙන කම්කරු පන්ති විරෝධයට මුහුන දුන් ආන්ඩු නැවත නැවතත් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයට යොමු විය. 1956 “සිංහල පමනයි” ප්‍රතිපත්තිය සහ 1972 ආන්ඩුක්රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගම ඔසවා තැබීමේ සිට 1980 දශකයේ මුල් භාගයේ එක්සත් ජාතික පක්ෂයේ වාර්ගික ප්‍රකෝප කිරීම් දක්වා වූ මෙම සන්තතිය, 1983 දෙමල විරෝධී සංහාරයෙන් පසු ව බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 26 වසරක යුද්ධයෙන් කුලුගැන්වුනි.
ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ජාත්‍යන්තරවාදී සමාජවාදී මූලධර්ම අත්හැරීම, සිංහල ජනතාවාදයට අනුවර්තනය වීම සහ 1964 දී ධනවාදී ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් ආන්ඩුවට ඇතුලු වී එය කල ඓතිහාසික පාවා දීම හරහා මෙම ප්රතිගාමී ගමන් පථයට දේශපාලනික ව ඉඩ සැලසී ය.
බෞද්ධ පූජක සංස්ථාපිතය, ධනේශ්වර රාජ්‍යය තුල තම බලය තවදුරටත් තහවුරු කර ගැනීමට සහ වැඩි වරප්‍රසාද ලබා ගැනීමට උත්සාහ කරමින්, රටේ නීති පද්ධතියෙන් මුක්තිය සඳහා දිගු කලක් තිස්සේ උද්ඝෝෂනය කර ඇත. ප්රමුඛ භික්ෂූහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ද එම ඉල්ලීම ම ඉදිරිපත් කලහ. පසුගිය වසරේ දී, දිසානායක වෙත යෝජනාව ඉදිරිපත් කරන ලදී.
ප්‍රකට බෞද්ධ භික්ෂුවක් වන ඕමල්පේ සෝභිත එම වෙසක් වේදිකාවේ දී ම, අතීත රජවරුන් මෙන් ක්‍රියා කරන ලෙස කල ආයාචනයක් ගැන සඳහන් කල ජනාධිපතිවරයා ප්‍රීතියෙන් මෙසේ පැවසී ය: “අපි එසේ කිරීමට සූදානම්.” ඔහු අතීත සිංහල රජවරුන් වන දුටුගැමුනු (ක්‍රි.පූ. 161–137) සහ පලමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153–1186) යන අය “ශ්‍රී ලංකාව අධ්‍යාත්මික ඥානාලෝකය සහ ආර්ථික සමෘද්ධිය යන දෙක ම” ඇති කල බව කියන පාලකයන් ලෙස උපුටා දැක්වී ය.
ඕමල්පේ සෝභිත යනු 2004 දී පිහිටුවන ලද සිංහල ස්වෝත්තමවාදී සංවිධානයක් වූ ජාතික හෙල උරුමයේ නායකයෙක් විය. එය යම් කාලයක් ජවිපෙ සමඟ සමීප ව කටයුතු කලේය. සෝභිත දිසානායක පරිපාලනයට සමීප ය.
මෙම පුරාන රජවරුන් පිලිබඳ ආයාචනය වැදගත් ය. දෙමල රජෙකු වන එලාර පරාජය කිරීම සඳහා යුද්ධයක් මෙහෙයවීම සම්බන්ධයෙන් දුටුගැමුනු ප්‍රසිද්ධ ය. නූතන රාජ්‍යය සඳහා ආදර්ශ ලෙස එවැනි පුද්ගලයින් ඔසවා තැබීම යනු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ වඩාත්ම ප්රතිගාමී ධාරාවන්ට ආයාචනා කිරීමකි.
බෞද්ධ ධූරාවලියේ ඉල්ලීම ඉටු කිරීමට දිසානායකගේ ඉක්මන් වීම අහම්බයක් නොවේ. ලංකා සම සමාජ පක්ෂයේ පාවාදීමත් සමග, 1960 ගනන්වල මැද භාගයේ දී, සිංහල දේශප්‍රේමය සහ මාඕවාදී-කැස්ත්‍රෝවාදී ගරිල්ලාවාදයේ විෂ සහිත මිශ්‍රනයක් සමඟින් ආරම්භ කෙරුනු ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන, බෞද්ධ භික්ෂූන් සමඟ සමීප සබඳතා පැවැත්වී ය.
2024 සැප්තැම්බර් 17 වන දින පැවති ජනාධිපතිවරනයට දින කිහිපයකට පෙර ආන්ඩුක්රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ජවිපෙ/ජාජබ දක්වන කැපවීම නැවත අවධාරනය කරමින් පක්ෂ නායකයෙකු සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ලංකා බෞද්ධ සම්මේලනයේ රැස්වීමක දී පැවසුවේ ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට පත් වුවහොත් එය බුද්ධාගමේ “ප්‍රමුඛතම ස්ථානය” ආරක්ෂා කරන බවයි. රටේ ඒකීය රාජ්‍යය, භෞමික අඛන්ඩතාව සහ ජාතික ආරක්ෂාව සඳහා ජනතා විමුක්ති පෙරමුන “අතිමහත් කැපකිරීම්” කර ඇති බව ඔහු ප්‍රේක්ෂකයින්ට මතක් කර දුන්නේ ය.
මෙය 1980 ගනන්වල අගභාගයේ දී ජවිපෙ විසින් දියත් කරන ලද ෆැසිස්ට්වාදී ව්‍යාපාරය සිහි ගැන්වීමකි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ඉන්දීය සොල්දාදුවන් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ඇතුලු වී එල්ටීටීඊය නිරායුධ කිරීමට ක්‍රියාකල අතර, එය සිංහල ආධිපත්‍යය දරන රාජ්‍යයේ ඒකීයභාවයට තර්ජනයක් බව පවසමින් එම පක්ෂය සන්නද්ධ කැරැල්ලක් මෙහෙයවීය. වෘත්තීය සමිතිවාදීන්, කම්කරුවන් සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා) සාමාජිකයින් ඝාතනය කිරීම ඇතුලු ව, ජවිපෙ මැරයෝ වාමාංශික විරුද්ධවාදීන්ට එරෙහි ව සිය ගනනක් ප්රචන්ඩ ප්‍රහාර එල්ල කලහ.
රාජ්‍යයේ සහායක බලවේගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුන භාවිතා කිරීමට මුලින් උත්සාහ කල රනසිංහ ප්‍රේමදාසගේ ආන්ඩුව, එහි ඉහල නායකත්වය ඝාතනය කරමින් පක්ෂයට ප්රචන්ඩ ලෙස විරුද්ධ විය. ඉන්පසු ආන්ඩුව ශ්‍රී ලංකාවේ දකුනේ මහජන නොසන්සුන්තාව මැඬ පැවැත්වීම සඳහා කුරිරු ව්‍යාපාරයක් දියත් කල අතර එහි දී දහස් ගනනක් ජනතාව මිය ගියහ.
1990 දශකයේ මැද භාගයේ දී, ජනතා විමුක්ති පෙරමුන පුනරුත්ථාපනය කර දේශපාලන සංස්ථාපිතයට ඔසවා තබන ලදී. දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් පහලින් වැඩෙන විරෝධයට එරෙහි ව බෞද්ධ සංස්ථාපිතයේ සහයෝගය රැස් කිරීමට උත්සාහ කරයි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී යුද්ධය හේතුවෙන් තව තවත් ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයේ බර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවර හරහා වැඩ කරන ජනතාව මත පටවමින් සිටී. කම්කරුවෝ, ගම්බද දුගීහු සහ තරුනයෝ තම ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව අරගලවලට තල්ලු කරනු ලැබෙති.
සෑම රටක ම, පාලක පන්තිය ඒකාධිපති පාලනය ශක්තිමත් කිරීම සඳහා ආගමික නායකයින් ඇතුලු වඩාත් ම ප්රතිගාමී බලවේග ඉදිරියට ගෙන එයි. ඉන්දියාවේ, අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු-අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකා රාජ්‍යයේ බෞද්ධ අධිපතිවාදය පිලිබිඹු කරමින් හින්දු අධිපතිවාදී රාජ්‍යයක් නිර්මානය කිරීම අරමුනු කරගත් හින්දුත්ව ව්‍යාපාරයක් ගෙන යයි. අරමුන එක ම දෙයකි: කම්කරු පන්තිය තුල වැඩෙන විරෝධය වෙනතකට හැරවීමට සහ මර්දනය කිරීමට වර්ගවාදය අවුලුවාලීම.
ජවිපෙ/ජාජබ ආන්ඩුව වඩ වඩාත් වේගයෙන් දකුනට ගමන් කරන බවට අපි කම්කරුවන්ට සහ තරුනයින්ට අනතුරු අඟවන්නෙමු. සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සියලු ආකාරයේ ආගමික සහ වාර්ගික වරප්‍රසාදවලට විරුද්ධ වන ලෙස සහ ඒවා අහෝසි කරන ලෙස ඉල්ලා සිටින ලෙසයි.
ප්රජාතන්ත්රවාදී සහ සමාජ අයිතීන් හා සමානාත්මතාවය ස්ථාපිත කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් වන රාජ්‍යය සහ ආගම සම්පූර්නයෙන්ම වෙන් කිරීම අපි ඉල්ලා සිටිමු. මෙය සාක්ෂාත් කරගත හැක්කේ ධනවාදය පෙරලා දමා, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස සමාජවාදී රාජ්‍යයක්, එනම් කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ අරගලය හරහා පමනි.
