ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ, පසුගිය සතියේ දී, දක්ෂිනාංශික බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වය යටතේ පවත්නා සිංහල අධිපතිවාදී පක්ෂයක් වන ජාතික හෙල උරුමය සමග මැතිවරන ගිවිසුමක් අත්සන් කලේ ය.
හෙල උරුමයේ සහයෝගයට හිලව් වසයෙන්, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව වඩා ආක්රමනික ආස්ථානයක් ගන්නා ලෙස ඔවුන් කල ඉල්ලීමට අගමැති එකඟ විය. කරුනු 12කින් යුත් ගිවිසුමට ආන්ඩුව හා එල්ටීටීඊය අතර පවතින වත්මන් සටන් විරාමය සංශෝධනය කිරීම, සුනාමි ආධාර හවුලේ පරිපාලනය කිරීම සඳහා ආන්ඩුව හා එල්ටීටීඊය අතර ඇති කර ගත් ගිවිසුම අහෝසි කිරීම සහ එල්ටීටීඊය සමග සාම ගිවිසුමක් සඳහා පදනම ලෙස ෆෙඩරල්වාදය ප්‍රතික්ෂේප කිරීම ඇතුලත් විය.
ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග ඇති කර ගැනුනු එයාකාර ගිවිසුම මෙන් ම, හෙල උරුමය හා රාජපක්ෂ අතර ගිවිසුමේ ද නිසැක තර්කනය වනු ඇත්තේ සිවිල් යුද්ධය යලි ඇවිලවීම සඳහා මාවත සැකසීම යි. තමන් සාමය වෙනුවෙන් පෙනී සිටින බවට ඔහු කරන කියාපෑම් කෙසේ වෙතත්, අගමැති ඊනියා සාම ක්රියාදාමයේ ප්‍රධාන පදනම් තථ්‍ය වසයෙන් ම ඉරා දමා තිබේ. වත්මන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගත් අගමැතිගේ ම ආන්ඩුවත් මෙම සාම ක්‍රියාදාමය යලි පන ගන්වන බවට කියා පා තිබේ. පැහැදිලිව ම කෙටි කාලීන මැතිවරන වාසි බලාපොරොත්තුවෙන් අත්සන් කර ඇති මෙම ගිවිසුම් ශ්‍රීලනිප තුල තියුනු මතභේද අවුලුවා ඇත.
මීට පෙර අත්සන් කෙරුනු රාජපක්ෂ-ජවිපෙ ගිවිසුම පිලිබඳව අදහස් දැක්වමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැවසූ පරිදි ම, ශ්‍රීලනිප තුල මතභේද මගින් පිලිබිඹු කෙරෙන්නේ, පාලක පන්තිය තුල සිටින එල්ටීටීඊය සමග සාකච්ඡාමය එකඟතාවක් අවශ්‍ය අයත් යලි යුද්ධය ඇවිලවීමට අවශ්‍ය අයත් අතර පවත්නා වඩා පුලුල් භේදයන් ය. මින් එකදු කන්ඩායමකට වත් කම්කරු පන්තිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට කිසිවක් නැත.
සාම ක්රියාදාමයේ යෝජකයනට අවශ්‍ය වන්නේ වෙලඳ පොල ප්රතිසංස්කරන වේගවත් කිරීම, දිවයින භූගෝලීය නිෂ්පාදන සන්තතීන්ට ඒකාග්ර කිරීම සහ කම්කරුවන් අන්‍යොන්‍ය වසයෙන් සූරාකෑමේ සිය වැඩකටයුතු උත්සන්න කිරීම පිනිස සිංහල, දෙමල හා මුස්ලිම් ප්‍රභූ කොටස් අතර බලය බෙදා ගැනීමේ එකඟතාවකි.
ඔවුන්ගේ විරුද්ධවාදීන් සුදානම් වන්නේ, දැනටමත් අඩු ගනනේ ජීවිත 60,000ක් පමන බිලි ගෙන ඇති හා පුලුල්ව පැතුරුනු කාලකන්නි කොන්දේසි සඳහා තුඩු දී ඇති භයංකර යුද්ධයක් කරා කම්කරු පන්තිය යලි ඇද දැමීමට යි.
ශ්‍රීලනිප තුල භේදයන්ගේ ප්‍රතිඵලත් ඒවා නොවැම්බර් 17 මැතිවරනය සම්බන්ධයෙන් ඇති කල හැකි ඇඟවුම් සහ හෙල උරුමය සමග ඇති කර ගත් ගිවිසුමේ දේශපාලන ප්‍රතිවිපාකත් පිලිබඳ කෙරුනු සමපේක්ෂනවලින් සහ අටුවාවලින් කොලඹ පුවත් පත් පිරී පවතී. එහෙත් රාජපක්ෂ-හෙල උරුමය ගිවිසුමේ එක් අංගයක් සම්බන්ධයෙන් මුලුමනින් ම මුනිවත රැ ක තිබේ -- එනම්, එදින පැවති උත්සවය යි.
සිය තැඹිලි පැහැති සිවුරුවලින් සැරසී සිටි හෙල උරුමයේ භික්ෂුන් සමග දලඳා මාලිගාව අභියස දී ගිවිසුම අත්සන් කරනු පිනිස අගමැති මහනුවර බලා ගියේ ය. මේ සියල්ල ම සිංහල බෞද්ධ අධිපතිවාදීන් සඳහා දැවැන්ත සංකේතාත්මක වැදගත්කමක් දැරී ය.
මහනුවර වනාහි අභාවයට යමින් තිබූ සිංහල රාජාන්ඩුවේ අවසන් අගනුවර යි. මෙම විහාරයේබුදුන්ගේ දතක් තැන්පත් කර ඇතැයි සැලකෙයි. එය වනාහි සිංහල බලයේ සංකේතයක් ලෙස දේශපාලන මෙන් ම ආගමික වැදගත්කමක් ද දරන ධාතුවකි.
රාජපක්ෂ ගිවිසුමේ සිය පිටපත නිල වසයෙන් භාර ගනු සඳහා හෙල උරුමයේ නායක භික්ෂුව වන එල්ලාවල මේධානන්ද අභියස දන ගැසී ය. ඉන් පසුව දෙදෙනා ම දලඳා මාලිගාවට ඇතුලු වී විවිධ බෞද්ධ චාරිත්‍ර විධි මධ්‍යයේ දන්ත ධාතුව දරන කරඬුව ඉදිරියේ එකට වන්දනාමාන කලහ. ලියවිල්ලට පූජනීය භාවයක් ලබා දෙනු පිනිස අවසානයේ එය දන්ත ධාතුව ඉදිරියේ තබන ලදි.
ශ්‍රී ලංකාවේ පුවත් පත්වලට නම්, මින් එකක් වත් කිසි සේත් ම අසාමාන්‍ය සිද්ධීන් නො වේ. ප්‍රධාන ධනේශ්වර පක්ෂ සියල්ලට ම අයත් කොලඹ දේශපාලනඥයෝ ඒ හෝ මේ ආගමික නිකායට අයත් ඉහල පෙලේ බෞද්ධ භික්ෂුන් වෙතින් ආශිර්වාද ලබනු පිනිස මහනුවරට නිරතුරුව ම වන්දනා ගමන් යති. රාජපක්ෂ-හෙල උරුමය ගිවිසුමට යන්තම් දින කිහිපයක් ඇවෑමෙන්, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ, බෞද්ධ ධුරාවලියේ අනුමැතිය දිනා ගනු වස් කොලඹ නගර ආසන්නයේ බෙල්ලන්විල විහාරයේ සංචාරයක යෙදුනි.
වෙනත් වචනවලින් කිය තොත්, හෙල උරුමය භික්ෂුන් ඉදිරියේ රාජපක්ෂගේ වැඳ වැටීම, සමස්ත දේශපාලන සංස්ථාපිතය ම කුනු වූ වාර්ගික දේශපාලනය මත ඇති රඳා පැවැත්ම පිලිබඳ සුවිශේෂයෙන් ම සුපැහැදිලි උදාහරනයකි.
හෙල උරුමයේ පිලිවෙත් සහ වැඩපිලිවෙල, ආන්තික රූපාකාරයකින් ප්‍රකාශයට පත් කරන්නේ, සෑම දේශපාලන පක්ෂයක් ම, රාජ්‍ය යන්ත්‍රය, සන්නද්ධ හමුදාවන් සහ මාධ්‍ය තුලට කාවැදී ඇති බෞද්ධ අධිපතිවාදී දෘෂ්ටිවාදය යි. එය 1972 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම රාජ්‍ය ආගමක් බවට පරිවර්තනය කරන වගන්තිය තුල ද දෙමල විරෝධී වෙනස්කම් කිරීම තහවුරු කරන ආන්ඩුවේ පිලිවෙත් තුල ද සුරක්ෂිතව පවතී.
පසුගිය වසරේ මහ මැතිවරනයට පෙරාතුව ජාතික හෙල උරුමය පිහිටුවන ලද්දේ, එවකට පැවති දක්ෂිනාංශික සිහල උරුමය බෞද්ධ ධුරාවලියේ කොටසක දේශපාලන උපකරනයක් බවට පරිවර්තනය කිරීමෙනි. එහි ප්රතිගාමී දෘෂ්ටිය එක්සත් ජනපදයේ දක්ෂිනාංශික ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ, ඉන්දියාවේ ආර්එස්එස් වැනි හින්දු අධිපතිවාදී සංවිධානවල හෝ අල් කයිඩාහි ඉස්ලාම් අන්තවාදීන්ගේ දෘෂ්ටියෙන් වෙනස් නො වේ. හෙල උරුමය, සිංහල බෞද්ධ රජවරුන්ගේ කල්පිත අතීතයක් පිලිබඳ කතාන්දර හාරා ඇවිස්සීම මගින්, 'සිංහල ජාතියේ ජාතික අයිතිය ' පිලිබඳ කියාපෑම් කරමින් 'බෞද්ධ මූලධර්මවලට අනුකූලව ' රාජ්‍යයක් ගොඩනැගිය යුතු යැයි ද ඉල්ලා සිටී.
හෙල උරුමය කතා කරන්නේ, දෙමල හා මුස්ලිම් පාලක ප්‍රභූන් මත සිංහල පාලක ප්රභූවේ අඛන්ඩ ආධිපත්‍යය පවත්වා ගෙන යාම සමග බැඳුනු අවශ්‍යතා සහිත රාජ්‍ය යන්ත්‍රයේ, සන්නද්ධ හමුදාවල සහ ව්‍යාපාරික කොටස් වෙනුවෙනි. මෙම සමාජ ස්ථර එල්ටීටීඊය සමග යම් හෝ බලය බෙදා ගැනීමේ ගිවිසුමක් ඇති කර ගැනීම කෙරෙහි ගැඹුරින් ම සතුරු ආකල්පයක් දරන අතර, ඔවුන් සාම ක්‍රියාදාමය සලකන්නේ සිංහල ජාතිය පාවා දීමක් ලෙස ය.
බෞද්ධ ධුරාවලියේ කොටස් මොන යම් හෝ සාම ගිවිසුමකට දරුනු ලෙස විරුද්ධ වීම අහම්බයක් නො වේ. බුද්ධාගම රාජ්‍ය ආගමක් බවට පත් කරන ව්‍යවස්ථාමය විධිවිධාන මගින් ඔවුන්ගේ බලය හා වරප්‍රසාද විශාල වසයෙන් වර්ධනය කෙරී ඇත. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අයවැයෙන් සැලකිය යුතු මුදලක් -- 2004 දී රුපියල් මිලියන 185ක් -- වෙන් වේ.
මෙයින් විශාල කොටසක් විහාර අතට පත් වේ. මෙම ප්රජාතන්ත්ර විරෝධී පිලිවෙත්වල යම් හෝ සැර බාල කිරීමක් බෞද්ධ පූජ්‍ය පක්ෂයේ තත්වය මත බලපෑමක් ඇති කරලනු ඇත.
මෙම සමාජ ස්ථර සිය අවශ්‍යතා රැක ගැනීමට ඕනෑම දෙයක් කරනු ඇත. හෙල උරුමයත් එහි පූර්වගාමියා වන සිහල උරුමයත් ප්රචන්ඩ ගැටුම් හා ප්රකෝපකරන මාලාවකට ම සම්බන්ධ ය. සිහල උරුමය ක්‍රිස්තියානි පල්ලිවලට එල්ල වූ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පුලුල්ව චෝදනා එල්ල විය. හෙල උරුමයේ වැඩපිලිවෙලේ ප්‍රධාන අංගයක් නම්, ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරකයන් 'සදාචාර විරෝධී ලෙස ආගමට හරවා ගැනීම ' -- එනම්, ඔවුන්ගේ ආගම වෙනස් කිරීමට හේතු විය හැකි පරිදි දුප්පත් බෞද්ධයන්ට මොන යම් හෝ ආධාරයක් ලබා දීම -- තහනම් කරමින් ආගම් මාරු කිරීමට එරෙහි පනතක් ඉල්ලා සිටීම යි.
සුනාමි ආධාර බෙදා හැරීම පිනිස තාවකාලිකව එකට වැඩ කිරීමට එල්ටීටීඊය හා ආන්ඩුව අතර ඇති කර ගත් ගිවිසුමට එරෙහි දුෂ්ට වර්ගෝත්තමවාදී උද්ඝෝෂනයේ පෙරමුනේ ම හෙල උරුමය සිටියේ ය.
මන්ත්‍රීවරයකු හා භික්ෂුවක වන හෙල උරුමයේ ලේකම් ඕමල්පේ සෝභිත, මහනුවර දලඳා මාලිගාව අභියස වාඩි වී පී-ටොම්ස් ලෙස ප්‍රසිද්ධ එම ගිවිසුම අත්සන් කිරීම නතර කරලනු වස් තමන් මාරාන්තික උපවාසයක් කරන බව ප්‍රකාශ කලේ ය. කොලඹ සිටි සෙසු භික්ෂූහුඔහු හා එක්ව ගිවිසුම ජාතික පාවාදීමක් ලෙස හංවඩු ගැසූහ.
ප්රතිගාමී වර්ගෝත්තමවාදය මේ සියල්ල ම කොලඹ මාධ්‍ය හොඳින් දන්නා දේවල් ය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල බුද්ධාගමේත් බෞද්ධ ධුරාවලියේත් ප්රතිගාමී ක්‍රියාකලාපය ගැන අංශුමාත්‍රයක හෝ විවේචනයක් නැත. රාජපක්ෂ චීවරධාරී හෙල උරුමය නායකයා ඉදිරියේ දනින් වැටීමේ පිලිකුල් සහගත දර්ශනය ගැන අදහස් දැක්වීමක් සියල්ලන් ම විසින් හෙලා දැකිය යුතු මහජන වෛරයට තුඩු දෙන ක්‍රියාවක් ලෙස සැලකෙනු ඇත.
හොඳින් සිතා බලා පවත්වා ගෙන යන මෙම නිශ්ශබ්දතාවට පිටුපසින් ඇති හේතුවට බුද්ධාගම කෙරෙහි දක්වන ගෞරවයක් සමග කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට එයින් පිලිබිඹු වන්නේ ධනේශ්වර පාලනය පවත්වා ගෙන යාම පිනිස සිංහල බෞද්ධ අධිපතිවාදී දෘෂ්ටිවාදය කෙතරම් නම් වැදගත් ද යන වග යි. 1948 ජාතික ස්වාධීනත්වය ලබා ගත් අවස්ථාවේ පටන් මේ දක්වා ම, ශ්‍රී ලංකා ධනේශ්වරය, මෙම කුඩා දිවයින මත කෘත්‍රිම ජාතියක් නිර්මානය කිරීම යුක්තියුක්ත කරනු පිනිසත් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ භේද කරනු පිනිසත් තම පක්ෂ සඳහා විශේෂයෙන් ම ශ්‍රීලනිප සඳහා සමාජ පදනමක් සහතික කර ගනු පිනිසත් විධික්රමයක් ලෙස සිංහල ස්වෝත්තමවාදය පෝෂනය කිරීමටත් ඇවිස්සීමටත් ක්‍රියා කොට තිබේ.
දේශීය පාලක ප්රභූව සිය පැරනි විජිත ස්වාමීන්ගෙන් උගෙන ගති. පරාජයට පත් උඩරට රාජධානියේ ඉතිරි පහදු කොටස් සමග 1815 ගිවිසුම අත්සන් කිරීමේ දී, බ්‍රිතාන්‍යයෝ 'බුදුන්ගේ ආගම, එහි චාරිත්‍ර, පූජකයන් සහ සිද්ධස්ථාන පවත්වා ගෙන යාමටත් ආරක්ෂා කිරීමටත් ' එකඟ වූහ. ඉතිහාසඥ කේ.එම්. ද සිල්වාගේ අටුවාවක සඳහන්ව තිබූ පරිදි, 'බ්‍රිතාන්‍යයන්ට පවත්වා ගෙන යාමට අවශ්‍ය වූ දේශපාලන සමතුලිතතාව කඩාකප්පල් කිරීමේ තර්ජනය මතු කල වෙනස්කම් හා ප්රතිසංස්කරන සඳහා වූ ව්‍යාපාරවලට එරෙහිව ප්රතිභාරක බලයක් ලෙස බුද්ධාගමේ පැවති විභවය ඔවුහු (දිවයිනේ බ්‍රිතාන්‍ය ආන්ඩුකාරවරු) අගය කලහ.
' බෞද්ධ භික්ෂූන් පසු කලෙක විජිත පාලකයන්ට විරුද්ධ ආස්ථානයක් ගත් තාක් දුරට, එය, හෙල උරුමය මෙන්, සිංහල රජවරුන්ගේත් බෞද්ධ පූජක ධුරාවලියේත් පෙර පැවති ආධිපත්‍යය පුනස්ථාපනය කිරීමේ ප්රතිගාමී ප්රයත්නයකි. ඔවුහු බ්‍රිතාන්‍ය පාලනයේ සදාචාර විරෝධී ස්වභාවය ගැන දොස් පැවරූ අතර සිය විජිතවාදී ස්වාමීන් අනුකරනය කරමින් ඔවුන්ට කීකරුව කටයුතු කල දේශීය 'විස්කි බොන්නන් ' හෙලා දැක්කහ. විජිත පාලනයට විරුද්ධව වැඩෙන වෛරය බෞද්ධ වටිනාකම් පුනර්ජීවනය සඳහා වූ අමෆප ව්‍යාපාරයක් තුලට අපසරනය කිරීමට ඔවුහු උත්සාහ කලහ.
රුසියානු විප්ලවයෙන් ඉක්බිතිව, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අධිෂ්ඨානවත් අරගලයක් ගෙන ගියේ කම්කරු පන්තිය යි, විශේෂයෙන් ම ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) ට්‍රොට්ස්කිවාදී නායකයන් ය. 1948න් පසුව, සටන්කාමී හා සංවිධිත කම්කරු පන්තියකට මුහුන දුන් අලුතින් *ස්වාධීන ' වූ පාලක පන්තිය වැඩ කරන ජනතාව එකිනෙකාට එරෙහිව පිහිටුවීමේ විධික්රමයක් ලෙස දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීමට පැකුලුනේ නැත. මෙම පිලිවෙතේ දේශපාලන ප්‍රතිවිපාක වී ඇත්තේ එකකට පසු එකක් වසයෙන් ව්‍යසනයන් කඩාපාත් වීම යි -- එනම්, වාර්ගික ප්රචන්ඩ ක්‍රියා, ජන ඝාතන සහ අවසානයේ යුද්ධය යි.
තීරනාත්මක සන්ධිස්ථානය වූයේ 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් ආන්ඩුවට එකතු වීමට ලසසප ගත් තීන්දුව යි. එසේ කිරීම මගින්. ලසසප තමන් කලින් සටන් වැදුනු ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම නිෂ්ක්‍රමනය කොට ශ්‍රීලනිපයේ පාදක පිලිවෙත වූ සිංහල බෞද්ධ අධිපතිවාදී දෘෂ්ටිවාදය වැලඳගති. 1972 දී, ලසසප ඇමති කොල්වින් ආර්. ද සිල්වා, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් සිංහල රාජ්‍ය භාෂාව ලෙසත් සහතික කල ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ වගකීමට උර දුනි.
1960 ගනන් හා 1970 ගනන්වල දී, ලසසපයේ පාවාදීම රැඩිකලීකරනය වූ තරුනයන් අතර වාර්ගිකව පදනම් වූ පක්ෂ -- දෙමල තරුනයන් අතර එල්ටීටීඊයත් ගම්බද සිංහල තරුනයන් අතර ජවිපෙත් -- පැන නැගීමට හා ආධිපත්‍යය දැරීමට තුඩු දුනි. දෙමල ජනයාට එරෙහිව බන්ඩාරනායක ආන්ඩුව ක්‍රියාවට දැමූ වෙනස්කම් කිරීමේ පිලිවෙත් ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව විසින් පවත්වා ගෙන යනු ලැබූ හා පුලුල් කෙරුනු අතර එම පිලිවෙත් 1983 දී යුද්ධය පුපුරා යාම සඳහා වගකිව යුතු විය. මෙම ව්‍යසනකාරී ගැටුම අවසන් කරලීමට පාලක පන්තියේ මොන යම් හෝ කොටසකට පවත්නා නොහැකියාව ගලා එන්නේ ඔවුනට සිය ධනය හා සමාජ වරප්‍රසාද අතහැර දැමීමට නොහැකි වනවාටත් වඩා වර්ගෝත්තමවාදී පිලිවෙත අතහැර දැමීමට නොහැකි ය යන කාරනාවෙනි.
සමාජවාදි විකල්පය ශ්‍රී ලංකාවේ හා කලාපය පුරා වැඩ කරන ජනතාවට සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කිරීමට සසප ජනාධිපති මැතිවරනයට තරග වදී. අප ඉන්දියානු උප-මහාද්වීපය පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, පීඩාකාරී ලාභ4 ගරන පද්ධතිය පවත්වා ගෙන යාමේ අරමුන වෙනුවෙන් ධනපති පන්තියේ විවිධ නියෝජිතයන් හිතාමතාම අවුලුවා ඇති ස්වෝත්තමවාදය, නිකායවාදය හා වර්ගවාදය ප්‍රතික්ෂේප කරන ලෙස යි. කම්කරු පන්තියට සිය විමුක්තිය සලසා ගත හැකි එකම මාවත වන්නේ, වර්ගය, ආගම, භාෂාව හෝ කුලය නොතකා සිය අරගලයන් ඒකාබද්ධ කිරීම සහ පුද්ගලික ලාභය නොව සමාජ අවශ්‍යතාවයේ පදනම මත සමාජය ප්‍රතිසංවිධානය කරනු පිනිස, ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ස්වාධීනව ස්වකීය දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම යි.
සසපත් එහි අපේක්ෂකයාත් මහනුවර හෝ වෙනත් ආගමික සිද්ධස්ථානයක් -- බෞද්ධ, හින්දු, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි -- කරා යන දේශපාලන වන්දනා ගමන්වලට එක් නො වනු ඇත. කම්කරු පන්තිය සිය අරගලවල දී මග පෙන්වීම ලබා ගත යුත්තේ මාක්ස්වාදයෙන්, එනම් විද්‍යාත්මක සමාජවාදයෙන්, යැයි අපි අවධාරනය කරමු. අවසාන විග්රහයේ දී පවත්නා කොන්දේසි අකර්මන්‍යව පිලිගැනීම මත පදනම් වන ආගමේ හා ගූඪවාදයේ සියලු රූපාකාරයන් අපි ප්‍රතික්ෂේප කරමු. මහනුවර මහ නාහිමිවරු වේවා ක්‍රිස්තියානි පූජකයන් වේවා, ඔවුන් සියල්ලන් ම දුගී ජනයාගෙන් ඉල්ලා සිටින්නේ, ස්වර්ගයේ දී හෝ ඊලඟ උප්පත්තියේ දී වඩා හොඳ ජීවිතයක් පිලිබඳ බොරු පොරොන්දුවකට හිලව් වසයෙන් තමන් දැන් මුහුන දී සිටින කාලකන්නි ජීවිතය පිලිගන්නා ලෙස යි.
කම්කරු පන්තිය, ශ්‍රී ලංකාව දැවැන්ත ව්‍යසනයකට ලක් කර ඇති වාර්ගික ප්රචන්ඩත්වයට හා යුද්ධයට අවසන් තිත තැබිය යුත්තාහ. දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත්වලින් සියලු ආරක්ෂක හමුදා වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කල යුතු යැයි සසප ඉල්ලා සිටී. ඒකීය රාජ්‍යය බලහත්කාරයෙන් පවත්වා ගෙන යාමෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, දිවයින පුරා මිලිටරිවාදයේ ආධිපත්‍යය සහ මූලික ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහි ප්‍රහාර යි. සසප සියලුම රූපාකාරයේ පීඩනයන්ට එරෙහිව වන අතර ම ජනවාර්ගිකත්වය, භාෂාව හෝ ආගම නොතකා සියල්ලන්ගේ ම අයිතීන් වෙනුවෙන් පෙනී සිටී.
20 අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීමේ විසඳුමක් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්ර විරෝධී ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමක් ඉල්ලා සිටී. ධනපති දේශපාලනඥ කල්ලි වෙනුවට, සාමාන්‍ය වැඩ කරන ජනයාට ප්රජාතන්ත්ර අයිතීන් පිලිබඳ සියලු ප්රමුඛ ගැටලු පිලිබඳ තීන්දු ගැනීමේ අවස්ථාව ලබා දෙනු වස් අව්‍යාජ නියෝජකත්වයකින් යුත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ස්ථාපිත කල යුතු යැයි සසප කියා සිටී.
රාජ්‍යය හා ආගම මුලුමනින් ම එකිනෙකින් වෙන් කල යුතු යැයි අපි ඉල්ලා සිටිමු. එය වනාහි ආගමික නිදහස ඇතුලු සියල්ලන්ගේ ම ප්රජාතන්ත්ර අයිතීන් තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්වකොන්දේසිය යි.
බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීම මගින්, ව්‍යවස්ථාව සෙසු ආගම් දෙවන පන්තියේ ආගම් බවට පහල හෙලමින් ඒවා පිලිපදින්නන්ට එරෙහිව වෙනස්කම් කරයි.
ප්රජාතන්ත්ර අයිතීන් හා සමාජවාදී පිලිවෙත් සඳහා අරගලය, ධනපති පර්යායට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් ප්‍රහාරයක් ඉල්ලා සිටී. සමාජවාදී සමානතා පක්ෂය, දකුනු ආසියාවේ හා ලෝකය පුරා සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි.
ජනාධිපති මැතිවරනය තුල මෙම ඉදිරිදර්ශනය සඳහා ගෙන යන උද්ඝෝෂනයේ දී සසප සමග එක් වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් හා අපගේ ආධාරකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
[මෙය 2005 සැපතැම්බර් 21 වැනි දින Sri Lanka: the JHU-Rajapakse deal and the reactionary role of Buddhist supremacism යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
