රැස්වීමේ දිනය: මාර්තු 17
වේලාව: ප.ව. 4:00–6:00
ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
කම්කරුවන්, සිසුන්, තරුනයින්, බුද්ධිමතුන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වන සියලු දෙනා ම කොලඹ මහජන පුස්තකාලයට පැමින, මාර්තු 17 රැස්වීමට හා එහි සිදු කෙරෙන තීරනාත්මක දේශපාලන සාකච්ඡාවට සම්බන්ධ වීම අපි අපේක්ෂා කරමු. මාර්ගගත (ඔන්ලයින්) ආකාරයට ද මෙම රැස්වීමට සම්බන්ධ වීමට ද පහසුකම් සලසා තිබේ. සූම් හරහා සජීවී ව සම්බන්ධ වීමට මෙතැනින් ලියාපදිංචි වන්න.
රැස්වීම සංවිධානය කරන්නේ, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානාතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යපාරය යි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව ඇරඹූ ප්‍රහාරය, එහි තෙවන සතියට එලැඹෙත්ම සීග්‍රයෙන් වැඩෙමින් ඇත්තේ, ලෝකය ම අලලා ගත් යුද්ධයක් දෙසට ය.
ඉරානයට මෙන්ම ලෙබනනයට ද ඇමරිකාව සහ ඊශ්‍රායල එල්ල කරන කාපට් බෝම්බ හෙලීම් ඇතුලු රුදුරු ප්‍රහාර මඟින් මේ වනවිට ලදරුවන්, පැසැල් සිසුන්, කාන්තාවන් හා මහලු පුද්ගලයින් ඇතුලු ව ඉරානයේ 1,300 හා ලෙබනනයේ 700ක් පමන ඝාතනය කර, 12,000කට වඩා ජනයාට තුවාල සිදු කර තිබේ. නිවාස, රෝහල්, පාසැල් ඇතුලු ගොඩනැගිලි 20,000ක් පමන විනාශ වී ඇති අතර, අවතැන් ව සිටින ජනයා මිලියන 4ද ඉක්මවයි. ඉරානයේ නගර 200ක් ඇතුලු මැද පෙරදිග නගර සහ තෙල් කර්මාන්තය හා ඊට සම්බන්ධ යටිතල පහසුකම් දැඩි ලෙස විනාශ කෙරෙමින් පවතී.
ඉරානයට එරෙහි යුද්ධය, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මහා මූලෝපායික සැලසුමක කොටසකි. එරට තුල දශක ගනනාවක් තුල ගැඹුරු වී ඇති ආර්ථික-සමාජ අර්බුදය, ලෝකය යට කරගෙන වැඩෙන අර්බුදයේ තියුනු ප්‍රකාශයකි. ඇමරිකාව, කලක් ලෝක බලවතා ලෙස පතුරුවාගෙන සිටි ආර්ථික දේශපාලන බලය යලි අත්කරගන්නට යන්නේ, ගෝලීය ආධිපත්‍යය සඳහා තම සුපිරි මිලිටරි බලය යොදා ගැනීමෙනි.
මැදපෙරදිග කලාපය තුල එක්සත් ජනපද දඩබල්ලා වන ඊශ්‍රායලය යොදා ගෙන 70,000 පලස්තීනුවන් මරා ගාසා තීරුව දෙරටේ ආධිපත්‍යයට ගැනීම; වෙනිසියුලානු ජනාධිපති මදුරෝ හා ඔහුගේ බිරිඳ ජනවාරියේදී ඇමරිකානු හමුදා විසින් පැහැර ගෙන එරට ආන්ඩුව යටත් කරගැනීම හා කැරිබියානු කලාපයේ මුහුදු පෙදෙස් වල එක්සත් ජනපද ත්‍රස්තවාදී ප්‍රහාර; කියුබාව මීලඟ ඉලක්කය බව ප්‍රකාශ කිරීම; කැනඩාව හා ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තර්ජනය; ඇමරිකානු අධිරාජ්‍යවාදී ගිනිකන්දේ පිපිරීම ප්‍රකාශයට පත් කරයි.
පසුගියදා ගාල්ලට නුදුරු මුහුදේ දී ඉරාන අයිරිෂ් ඩේනා නෞකාව, ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් විනාශ කර, ඉරාන නාවිකයින් 100ක් පමන මුහුදට බිලි කිරීම මගින් ට්‍රම්ප් ආන්ඩුව ලෝකයට දැනුම් දුන්නේ, පෘතුවි ගෝලයේ සෑම තැනක ම, ජාත්‍යන්තර නීති හා ප්රඥප්ති ගැන කිසිදු තැකීමක් නැති ව සිය ප්‍රහාර ගෙනයන බවයි.
ඓතිහාසික ව පීඩිත රටක් වන, මිලියන 90ක ජනතාවක් වෙසෙන ඉරානයට එරෙහි ව සහ මිලියන 6ක ජනගහනයක් සිටින ලෙබනනයට, සියලු අධිරාජ්‍යවාදී බලයන්ගේ හා අනෙකුත් ආන්ඩුවල ද පිටුබලය සහිත ව එල්ල කරන මිනීමරු ප්‍රහාරය ද නතර කල යුතු ය. ඒ සඳහා මුලිකත්වය ගැනීම, එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජයවාදී බලයන් තුන් වන ලෝක යුද්ධයක විනාශය තුලට ලෝකය අද දැමීම වැලැක්වීම සඳහා ද මූලිකත්වය ගැනීමකි. එය කල හැකිවන්නේ, ධනවාදී ක්‍රමය තුල, එය පෙරලා දැමිය හැකි එක ම විප්ලවවාදී බලවේගය වන ලෝක කම්කරු පන්තිය මෙම සාපරාධී යුද්ධයට එරෙහි ව බලමුලු ගැන්වීමෙන් පමනකි.
යුද්ධයේ ආර්ථික හා දේශපාලන ප්‍රතිවිපාක දැනටමත් දිවයිනට දැනෙමින් තිබේ. තෙල් හා ගෑස් ඇතුලු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දමමින්, අර්බුදයේ බර පැටවීම එහි ආරම්භය යි.
මාර්තු 3දා පාර්ලිමේන්තුවට කල ප්‍රකාශයක දී හා ඉන් පසු ව ජනාධිපති අනුර කුමාර දිසානායක, යුද්ධයේ ප්‍රතිවිපාක දරා ගැනීමට “නරක ම දේ සඳහා සූදානම් වන ලෙස” ජනතාවට දැනුම් දුන්නේ ය. එහි තේරුම වර්ධනය වන අධිරාජ්‍යවාදී ගෝලීය ප්‍රහාරයේ බර වැඩ කරන ජනතාවගේ කර මතට පටවනු ඇති බවයි.
2022 ආර්ථික කඩාවැටීමේ දී ජනතාව අත්විඳි ඉන්ධන පෝලිම් සහ හිඟයන් ගැන දිසානායක සිහිපත් කලේ ය. අර්බුදය උග්රවන විට, දැනටමත් පීඩා විඳින වැඩ කරන ජනයා යලි නැගිටීමේ අවතාරය ආන්ඩුව හා පාලක පන්තිය ඉදිරියේ හොල්මන් කරන්ට ඇත. අර්බුදයේ දී පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්සත්කමක් ඇතිකර ගත යුතු බව ඔහු සිහිපත් කලේ ය.
වඩාත් බරපතල ම වර්ධනය නම්, ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයට එරෙහි ව වොෂින්ටනය ගෙන යන මිලිටරි-මූලෝපායික ජාලයට එකතුවෙමින්, කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිදු කර ගෙන ගිය එක්සත් ජනපදය සහ ඉන්දියාව සමඟ දිවයිනේ සබඳතා තරකිරීම දිසානායක ආන්ඩුව විසින් තවත් ගැඹුරු කිරීම යි. මිලිටරි සහයෝගීතාව, ආරක්ෂක ගිවිසුම් සහ භූ දේශපාලනික පෙලගැස්ම පලල් කර ඇත. දිසානායක ආන්ඩුව, එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන යුද්ධය හෙලා දැකීම ප්‍රතික්ෂේප කිරීම, මේ පෙල ගැස්මේ අලුත් ප්‍රකාශයයි. මැද පෙරදිග “සාමය” සඳහා පෙනී සිටින බවට හා තමන් “මධ්‍යස්ථ” බවට ආන්ඩුව දෙසන්නේ අමු බේගල් ය.
පාර්ලිමේන්තු විපක්ෂයේ හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියානු සාගර කලාපය “සාම කලාපයක්” බවට පත් කල යුතු යයි ගාම්භීර ප්‍රකාශයක් කර තිබේ. එය කල යුත්තේ ට්‍රම්ප් ද? නැතහොත් එක්සත් ජනපද ගැත්තෙකු වන මෝඩි ද? එසේත් නැත්නම් කවුදැයි ඔහු කියා නැත. එක්සත් ජනපද ගැති දේශපාලකයකු වන ප්‍රේමදාස ද දිසානායක මෙන් ම බේගල් දෙසාබයි.
ධනපති ජන මාධ්‍යවල සුරතලෙකු වන ව්‍යාජ වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) හා තවත් අවස්ථාවාදී කන්ඩායම් ට්‍රම්ප් ආන්ඩුවට බලපෑම දමා යුද්ධය නතර කරගැනීමට යෝජනා කරති. කිසිදු ආයාචනයකින්, කන්නලවු කිරීමකින් වියරු අධිරාජ්‍යවාදී බලයන්ට හා එහි ප්‍රමුඛත්වය ගෙන සිටින එක්සත් ජනපදය නතර කල නොහැකි ය. එය නතර කල හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවය පෙරදැරි කරගෙන කරන අරගලයකිනි.
ජීවන කොන්දේසි කප්පාදුවට, සමාජ අසමානතාවට සහ ඒකාධිපති පාලනයට එරෙහි අරගලය යුද්ධයට එරෙහි අරගලය සමග බද්ධ කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු ව අරගලයට එලැඹෙන ලෙස අපි ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලමු. ගම්බද දුගී ජනයා මෙම අරගලය සඳහා රැලි කර ගත යුතු ය.
අප පවත්වන රැස්වීමට සහභාගි වී මෙම සාකච්ඡාවට සහභාගී වන්න. ඔබේ සගයන්, පවුලේ සාමාජිකයින් සහ මිතුරන් රැගෙන එන්න. මෙම ආයාචනය සේවා ස්ථානවල, විශ්ව විද්‍යාලවල සහ ප්‍රජාවන්හි පුලුල් ලෙස බෙදා හරින්න.
අපට ඇමතීමට සහ සාකච්ඡාවට මෙම දුරකථන අංක/වට්ස්ඇප් අංක (0773562327) සහ ඊ මේල් wswscmb@sltnet.lk භාවිතා කරන්න.
